Wednesday, November 4, 2009

විදාරණය


 පහුගිය දවස්වල මට මගේ සිංහල බ්ලොගයත් අමතක වෙන තරමටම වැඩ වැඩි වුණා.මොකද මේ වසරේ මා හට අධ්‍යනය කිරීමට තිබෙන ECX 3230 - Electronics විෂයයේ විද්‍යාගාර සැසි ඔක් ‍තෝබර් මස 9 වෙනිදා සිට 17 වෙනිදා දක්වමා යේදී තිබීම හා මෙවර "B.Tec" තාක්ෂණවේදී ඉංජිනේරු උපාධිය හැදෑරීමට පැමිණි නවක සිසුන්ට ඒ කියන්නේ අපේ junior batch එකට ප්‍රෙෂස් එකදීමට මහන්සිවීමට සිදුවීම.නොවැම්බර් මස 1 වෙනිදා ඒ උත්සවයත් උත්කර්ෂවත් ලෙස අහවර කළා.විද්‍යාගාරයේ ලැබූ අත්දැකීම් බොහොමයි.ඒ ගැන පසුව මගේ බ්ලොගයේ පළ කරන්නම්.දැන් මාතෘකාවට එමුකෝ.අප රටේ ඉලෙක්ට්‍රොනික හා පරිගණක තාක්ෂණ ගැන කතා කරනකොට විශේෂයෙන් සඳහන් කළයුතු පුද්ගලයන් පිරිසක් සිටිනවා.මොකද අපේ රටේ ගොඩක් අය තාක්ෂණය වෙත යොමුකිරීමට මේ අයගේ විශාල දායකත්වයක් සිදුවුනා.සමහර විට ඔබ මේ අය ගැන දන්නවා වෙන්න පුළුවන්,නොදන්නවා වෙන්න පුළුවන්.ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රය ගත්තොත් සුමනදාස නාමරත්න,ප්‍රසාද් සිරිවර්ධන,සෙනිත් නිර්මාණ සඟරාවේ කතෘතුමා(එතුමා පහුගිය දවස්වල අප අතරින් වියෝවුනා),තිලකරත්න දැදිගම(දැනටත් විදුසර විද්‍යා සඟරාවට ඉලෙක්ට්‍රෝනික විද්‍යා ලිපි සම්පාදනය කරන),ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස,දිනූෂ මුණසිංහ,ගුණතිලක සහෝදරයා දැක්විය හැකියි(මට මෙතනදී සඳහන් කිරීමට නොහැකිවූ අය ඇත්නම් කරුණාකර ඔවුන්ගෙන් සමාව භජනය කරනවා).සුමනදාස නාමරත්න මහතා ගැන කතා කළොත් ,එවිට මා දෙක වසරේ ඉගෙන ගන්න පොඩි එකෙක්.අම්මා මට ගෙනත් දීපු විජය පත්තරේ තමයි සුමනදාස නාමරත්න මහතාගේ ඉලෙක්ට්‍රොනික ලිපිපෙළ පළවුනේ.ඒ දවස්වල නොතේරුම්කමට ඒ ලිපි කියෙව්වා.මට තිබුනු කුණු ලෝභකමට ඒ එක පත්තරයක්වත් කැපුවේ,කෙ‍ටුවේ නැහැ.අන්තිමට අවුරුදු 11 කට පස්සේ තමයි මට ඒ පත්තර ටික උපකාරී වුනේ.13 වසරේ ඒකළ ව්‍යාපෘතියට මම නිර්මාණය කරපු "වැඩි දියුණු කළ ලෝහ අනාවරකය"ට metal detector පදනම් කරගත්තෙත් ඒ ලිපි පෙළ.තවමත් එම ලිපිපෙළ මා ගාව සු‍රැකිව තිබෙනවා.වසර ගනනාවක් තිස්සේ විදුසර විද්‍යා සඟරාවට ඉලෙක්ට්‍රොනික විද්‍යා ලිපි සම්පාදනය කරපු ප්‍රසාද් සිරිවර්ධන අයියා ගැන කිව්වොත් මම දන්න හැටියට ලංකාවේ පළමුව ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ගැන ස්වයං පර්යේෂණයක් කළෙත්(1999-2000 කාලයේ),port programming සංකල්පය ගැන කතිකාවක්(පරිගණක මගින් පාලනය වන තොරණ සංකල්පය,තමන්ගේම පර්යේෂණ),නවකයන්ට අත්වැලක්වූ "මාසික ඉලෙක්ට්‍රොනික පරිපථ සංග්‍රහය" වැනි වටිනා ලිපි පෙළ කෙරුවෙත් ප්‍රසාද් අයියා.විශ්ව විදයාල සිසුවෙකුව සිටිද්දීම පර්යේෂණ කරමින් තමන්ගේම ප්‍රායෝගික දැනුම අන් අයට බෙදාදුන් ප්‍රසාද් අයියා ඒ අතරින් ගොඩක් ආදර්ශමත්.අද ඔහු කොහේ සිටිනවාද කියා මා දන්නේ නැහැ.(කොහේ හරි ඉන්නවනම් මේ විද්‍යුත් තැපෑලට ලිපියක් එවන්න kaviranga5955@gmail.com ).ඔහු වගේ සහෝදරයින් අදත් නැතිවා නොවෙයි.තව සෙනිත් නිර්මාණ සඟරාවේ කර්තෘතුමාත් අමතක කළ නොහැකියි.ඔහු අද අප අතර නොමැතිවුවත් ඔහුත් කාලයක් විදුසර පත්තරයට ඉලෙක්ට්‍රොනික විද්‍යා ලිපි සම්පාදන කළා.තවමත් ඔහුගේ සේවය අප රටට සදා අමරණීයයි.ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස තවත් මාහට අමතක කළ නොහැකි චරිතයක්,ඔහු කළ පර්යේෂණ වලින් තමයි දැනටත් නැනෝ පරිපථ තාක්ෂණය ගැන මුළු ලෝකයම ප්‍රයෝජන ගන්නේ.අවාසනාවකට ඔහු 2007 අවුරුද්දේ අප සැමගෙන් සමු ගත්තා.

මට මුලින්ම පරිගණක,තොරතුරු තාක්ෂණය ගැන ආසාවක් ඇති වුනේ කාලයක් ජාතික රූපවාහිනියේ විකාශය කළ "අන්තර්ජාලය ඔබේ නිවසට" වැඩසටහන නිසා.පැයකට පමණ ආසන්න කාලයක් විකාශය කළ ඒ වැඩසටහන මගින් වැඩිපුර කතා කළේ අන්තර්ජාලය,එහි ඇති නව තාක්ෂණ,නව ප්‍රවනතා ආදී වූ කරුණුයි.ටී.එම්.ජී.චන්ද්‍රසේකරයන් විසින් මෙහෙයවූ එම වැඩසටහනට ලංකාවේ බොහෝ තොරතුරු තාක්ෂණය සම්බන්ධ විද්වතුන් ‍රැසක් සහභාගීවූවා.මහාචාර්ය අසෝක එස් කරුනානන්ද,එස්.ටී.නන්දසාර,මහාචාර්ය වී.කේ.සමරනායක ආදීවූ විද්වතුන් ‍රැසක් සහභාගීවුනා.මෙම වැඩසටහන මගින් තමයි මට වෙබ් අඩවි නාමාවලියක්(web directory) සෑදීමට මූලික අදහසක් ඇතිවුනේ.එසේ සෑදූ වෙබ් අඩවි නාමවලියය තවමත් මාගාව තියෙනවා.ටී.එම්.ජී.චන්ද්‍රසේකරයන් ගැන කිව්වෝතින් මාධ්‍යවේදියෙකු වශයෙන් ඔහු මේ ලංකාවේ තොරතුරු තාක්ෂණය ගැන කතිකාවක් කිරීමට බොහෝ සෙයින් දායකවූ අයෙක්."e @ ශනිදා" වැනි කාලීනව වැදගත් වැඩසටහන් තුලින් ඔහු යම් දෙයක් සමාජයට දෙන්න උත්සාහ කළා.

දැනට මොර‍ටුව විශ්ව විද්‍යාලයේ මහචාර්ය තනතුරක් හොබවන,කලින් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය පදවියක් දැරූ අසෝක එස් කරුණානන්ද මහතා , ඔහු 1998,1999,2000 වසර වලදී " විදුසර " විද්‍යා සඟරාවට පරිගණක විද්‍යාව ගැන ලියූ ලිපි පෙළ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික පෙරළියකට මුල පිරීමට හේතුවූවා කිව්වෝතින් නිවැරදියි.ඔහුගේ ලිපි පෙළ තුල පුළුල් පරාසයක තොරතුරු සාකච්ඡාවට බඳුන් වූවා.විශේෂයෙන් පරිගණක වෛරස,පරිගණක ජාලකරණය,ඊ වානිජ්‍යය,යුනික්ස්-ලිනක්ස් මෙහෙයුම් පද්ධතීන් හා ඒවායේ ගොනු ආකෘතිය ,පරිගණක දෘඩාංග ගැන පුළුල් ලෙස ඔහූ ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුවත් කළා.මටද මෙම කෂේත්‍ර ගැන අවබෝධයක් ලබා ගැනීමට උනන්දුවක් ඇතිවූයේ මෙම ලිපිපෙළෙන් ලැබූ පන්නරයෙන්.

අප අතරින් වියෝවූ මහාචාර්ය වී.කේ.සමරනායක මහතාද ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයයට පෑයූ මිණි පහනක්.පරිගණකය භාවිතයෙන් ඡන්ද ප්‍රතිපල නිවැරදිව ලබාදීමේ ක්‍රමය පළමුවරට අත්හදා බැලීමට ඔහු සමත්වුනා.එමගින් ඔහු රටට දායක කළ දෙයින් අද මුළු ශ්‍රී ලංකාවම ප්‍රයෝජන ගන්නවා.යුනිකේත සිංහල ජ්‍යාත්‍යන්තර ප්‍රමිතියකට ගෙන ඒමට ඔහු කළ මෙහෙය අතිවිශිෂ්ඨයි.නැතිනම් අද අපහට මෙසේ සිංහල භාෂාවෙන් එකම ප්‍රමිතියකින් තාක්ෂණික ලිපි ලිවීමට නොහැකිවෙන්න ඉඩ තිබුනා.ඔහුගේ සේවය රටටම අමරණීය වන්නේ ඔහුගේ මෙම පර්යේෂණාත්මක දායකවීම් නිසයි.

මට තවත් අමතක කල නොහැකි අයෙකු වන්නේ ඩිල්ශාන් ආර් ජයකොඩි සොයුරායි.තමන්ගේම පර්යේෂණාත්මක සොයා ගැනීම් ගැන බ්ලොගයක් කළ " http://jayakody2000lk.blogspot.com " අඩවියෙන් එම සොයාගැනීම් ප්‍රසිද්ධ කළ වයස අවුරුදු 21 වූ මෙම තරුණ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ශිෂ්‍යයාගේ බ්ලොගය අද වනවිට ඉවත් කොට තිබෙනවා.නමුත් ඔහු කළ ව්‍යාපෘතීන් තවම sourceforge.net අඩවියෙන් භාගත කල හැකියි.විශේෂයෙන් ඔහු delphi ක්‍රමලේඛන භාෂාව යොදාගෙන නිර්මාණය කළ atmel,pic වැනි ක්ෂුද්‍ර පාලක ක්‍රමලේඛගත කළ හැකි අංග සම්පුර්ණ මෘදුකාංගය , ශ්‍රී ලංකාවේ ප්‍රථම බාහිර ශබ්ද පත(sound card),වැනි නිර්මාණ ඔහු ශ්‍රී ලාංකිකයන්ට නොමසුරුව දායක කළා.

අද විදාරණයෙන් මම බලාපොරොත්තු වූයේ " වෙනසක ඇරඹුමට " පණ දීමටයි. ඉඳින් සොයුරු,සොයුරියනි මෙම ලිපිය ගැන ඔබගේ වටිනා ප්‍රතිචාර හෝ චෝදනා මට ලබාදෙන්න.එසේනම් අදට සමුගන්නවා.

ප;ලි:- නැවත වතාවක් ඩිල්ෂාන් ආර් ජයකොඩි සහෝදරයාගේ http://jayakody2000lk.blogspot.com  අඩවිය සක්‍රිය කර ඇති බව සතුටින් දැනුම් දෙමි..

Sunday, October 11, 2009

වෙනසක ඇරඹුම..?



මෙතෙක් කල් Computer World ලෙස පවත්වා ගෙන ආ මාගේ සිංහල බ්ලොගය මෙතැන් පටන් Computer & Electrical World ලෙස නම් කරනවා.මා මෙසේ බ්ලොගය නම් කිරීමට හේතු දෙකක් තිබෙනවා.එකක් මා විවෘතයේ පරිගණක ඉංජිනේරු සිසුවෙකු ලෙස අධ්‍යයන කටයුතු කළාට මා සතුව තරමක ඉලෙක්ට්‍රොනික,විදුලි ඉංජිනේරු විද්‍යා දැනුමක් තිබීම.දෙක මා හට මේ වසරේ තුන්වන මට්ටමේ (Level 3) යටතේ අධ්‍යනය කිරීමට තිබෙන විදුලි හා ඉලෙක්ට්‍රෝනික විෂයයන් වල තිබෙන විෂයය අන්තර්ගතයන් වල මූලික සංකල්ප හා ඒවායේදී ලබන අත්දැකීම් මාගේ බ්ලොගය නරඹන විවෘතයේ සොයුරු සොයුරියන්ටත්,අනෙකුත් විශ්ව විද්‍යාලවල සොයුරු සොයුරියන්ටත්,උසස් පෙළ ,සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නා නංගිලා මල්ලිලාට උපකාරයක් වේ කියා මා සිතන නිසා. එසේ නම් නව ලිපිපෙළකින් නැවත හමුවෙන තුරු මද විරාමයක් තබනවා..

Monday, September 28, 2009

රොබෝ ගේම්ස් 2009 තරගය ගැන

ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ ආයතන මගින් වාර්ෂිකව පවත්වන Robo Games 2009 තරගය මෙවරත් Techno 2009 තරගයට සමගාමීව සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලවේදී පැවැත්වෙනවා.මෙවර තරගය තරමක් සුවිශේෂීයි.මක්නිසාද යත් මෙවර ප්‍රධාන අංශ තුනකින් තරගය සමන්විතයි.එනම්,

  • කණිෂ්ඨ අංශය-(පාසල් සිසුන් සඳහා)
  • විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ අංශය- (විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් සඳහා.,මෙයට පෞද්ගලික උපාධි ආයතන වල සිසුන්ද අයත්වේ.)
  • ජේ්‍යෂ්ඨ අංශය-(විවෘත,එනම් කලින් මෙම තරගයට නිර්මණ ඉදිරිපත් කළ සහ දැනට ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීනයන්,උපාධි නිමකළ සිසුන් සඳහා)

මෙවැනි තරගයක් වාර්ෂිකව පැවැත්වීමද ලොකු දෙයක්,මොකද ශ්‍රී ලංකාවේ හතර දිග්භාගයේ සිටින දැනුමැති අයවලුන්ට තමන්ගේ දැනුම පරීක්ෂා කිරීමට මෙය හොඳ තොතැන්නක්.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙවර තරගයට ඉදිරිපත් වන හැමටම සතු‍ටුදායක ප්‍රතිපල අත්වේවා කියලයි.ඔබ සැමට සදා ජය..!