Monday, December 14, 2009

මෙය ඔබ අත්හදා බැලුවාද ?

වෙනසක ඇරඹුම මගින් නව වෙනසක් ඔබ වෙත ගෙන ඒමට තැත් කළත් , එම කාරණය දවසින් දවස කල් යාමට හේතු කාරණා බොහොමයි.දෙවන වසරේ ඉංජිනේරු තාක්ෂණ ඩිප්ලෝමාවේ කරුණු ඇසුරින් ඔබ වෙත ගෙන ඒමට තැත් කළ කාරණා පැත්තකට දාලා අද මම virtual box තුළ අත්හදා බැලුනු RedHat Enterprise Linux 5.3 සංස්කරණයේ ටර්මිනලය තුළ සාර්ථකව ක්‍රියාත්මක වූ shell විධාන පෙළක් ඔබ වෙත ගෙන එනවා.

මෙය අනිකුත් ලිනක්ස් සංස්කරණ වලටද පොදු මෙන්ම පොදු නොවූ ඒ විධාන ටර්මිනලය තුළ අත්හදා බැලීම ඔබට නවමු අත්දැකීමක් විය හැකියි.

සාමාන්‍යයෙන් ඔබට පරිගණක දෘඩ තැටිය ගැන විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් පහත විදාන පෙළ ටර්මිනලයේ සටහන් කරන්න.

duminda@duminda-laptop:~$ cat /proc/partitions

duminda@duminda-laptop:~$ cat /proc/swaps

duminda@duminda-laptop:~$ cat /proc/filesystems

duminda@duminda-laptop:~$ cat /proc/mounts


ඔබට ප්‍රොසෙසරය හා පරිගණක මතකය පිළිබඳ දැනගැනීමට අවශ්‍යනම්,

duminda@duminda-laptop:~$ cat /proc/cpuinfo

duminda@duminda-laptop:~$ cat /proc/meminfo


යන විධාන පෙළ ඇතුළත් කල හැකියි.

ලිනක්ස් කර්නලයේ අනුවාදනය දැනගැනීමට අවශ්‍යය නම්

duminda@duminda-laptop:~$ cat /proc/version  සටහන් කරන්න .

පොඩි විනෝදයක් ගන්න ඕන නම්,

duminda@duminda-laptop:~$ cat /proc/kcore
(වැඩේ ආතල් නේද ? හරියට පරණ ඩොස් ගේම් එකක වගේ පද්ධති ස්පීකරයෙන් සද්දේ එනවා නේද ?)

මතක ඇතිව මෙය නිසියාකාරව වැඩ කිරීමට අනිවාර්යයෙන්ම සුපිරි පරිශීලක විය යුතුයි. (su විධානය ලබාදී ඒ බව තහවුරු කරගන්න.)

මේ විධානය නවතින්න ටිකක් වෙලා යයි. මේකෙන් එන සද්ද වලට බය වෙන්න එපා . "ලිනක්ස් වලදී ටර්මිනල විධාන නවත්වන්න හොඳම ක්‍රමය Ctrl+Z "

මේක ගැන වැඩිදුර විස්තර ශාකුන්තලගේ සටහනෙහි මම දක්වපු ප්‍රතිචාරයකට ශාකුන්තල දීපු පිළිතුරක ඇති .

කට්ටියට මේ මං කියන දේ විශ්වාස නැතිවෙයි කියලා හිතෙන නිසා තිර සටහනක් දානවා..








ලිනක්ස් පවුලේ ඔබ සැම අතර ජනප්‍රිය Ubuntu,Fedora,RedHat Linux,Linux Mint,Gentoo Linux සංස්කරණ වල මේ විධාන හොඳට වැඩකරනවා . අපේ කට්ටිය හදපු Hanthana Linux
වලට නම් මම මේවා අත්හදා බැලුවේ නම් නැහැ .

එහෙනම් මිතුරනි අදට සමු ගන්නවා . මොකද මට 24 වෙනිදා වෙනකම් මේ වසරේ අවසාන විද්‍යාගාර,පැවරුම් ගොඩ ගැහිලා නිසා .
මේ විධාන ගැන තවදුරටත් පසු ලිපියක සඳහන් කරන්නම්.ප්‍රතිචාර ප්‍රමාද වූවාට අවුලක් තියා ගන්න එපා . ඔබ සැමගේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා.

Wednesday, November 4, 2009

විදාරණය


 පහුගිය දවස්වල මට මගේ සිංහල බ්ලොගයත් අමතක වෙන තරමටම වැඩ වැඩි වුණා.මොකද මේ වසරේ මා හට අධ්‍යනය කිරීමට තිබෙන ECX 3230 - Electronics විෂයයේ විද්‍යාගාර සැසි ඔක් ‍තෝබර් මස 9 වෙනිදා සිට 17 වෙනිදා දක්වමා යේදී තිබීම හා මෙවර "B.Tec" තාක්ෂණවේදී ඉංජිනේරු උපාධිය හැදෑරීමට පැමිණි නවක සිසුන්ට ඒ කියන්නේ අපේ junior batch එකට ප්‍රෙෂස් එකදීමට මහන්සිවීමට සිදුවීම.නොවැම්බර් මස 1 වෙනිදා ඒ උත්සවයත් උත්කර්ෂවත් ලෙස අහවර කළා.විද්‍යාගාරයේ ලැබූ අත්දැකීම් බොහොමයි.ඒ ගැන පසුව මගේ බ්ලොගයේ පළ කරන්නම්.දැන් මාතෘකාවට එමුකෝ.අප රටේ ඉලෙක්ට්‍රොනික හා පරිගණක තාක්ෂණ ගැන කතා කරනකොට විශේෂයෙන් සඳහන් කළයුතු පුද්ගලයන් පිරිසක් සිටිනවා.මොකද අපේ රටේ ගොඩක් අය තාක්ෂණය වෙත යොමුකිරීමට මේ අයගේ විශාල දායකත්වයක් සිදුවුනා.සමහර විට ඔබ මේ අය ගැන දන්නවා වෙන්න පුළුවන්,නොදන්නවා වෙන්න පුළුවන්.ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රය ගත්තොත් සුමනදාස නාමරත්න,ප්‍රසාද් සිරිවර්ධන,සෙනිත් නිර්මාණ සඟරාවේ කතෘතුමා(එතුමා පහුගිය දවස්වල අප අතරින් වියෝවුනා),තිලකරත්න දැදිගම(දැනටත් විදුසර විද්‍යා සඟරාවට ඉලෙක්ට්‍රෝනික විද්‍යා ලිපි සම්පාදනය කරන),ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස,දිනූෂ මුණසිංහ,ගුණතිලක සහෝදරයා දැක්විය හැකියි(මට මෙතනදී සඳහන් කිරීමට නොහැකිවූ අය ඇත්නම් කරුණාකර ඔවුන්ගෙන් සමාව භජනය කරනවා).සුමනදාස නාමරත්න මහතා ගැන කතා කළොත් ,එවිට මා දෙක වසරේ ඉගෙන ගන්න පොඩි එකෙක්.අම්මා මට ගෙනත් දීපු විජය පත්තරේ තමයි සුමනදාස නාමරත්න මහතාගේ ඉලෙක්ට්‍රොනික ලිපිපෙළ පළවුනේ.ඒ දවස්වල නොතේරුම්කමට ඒ ලිපි කියෙව්වා.මට තිබුනු කුණු ලෝභකමට ඒ එක පත්තරයක්වත් කැපුවේ,කෙ‍ටුවේ නැහැ.අන්තිමට අවුරුදු 11 කට පස්සේ තමයි මට ඒ පත්තර ටික උපකාරී වුනේ.13 වසරේ ඒකළ ව්‍යාපෘතියට මම නිර්මාණය කරපු "වැඩි දියුණු කළ ලෝහ අනාවරකය"ට metal detector පදනම් කරගත්තෙත් ඒ ලිපි පෙළ.තවමත් එම ලිපිපෙළ මා ගාව සු‍රැකිව තිබෙනවා.වසර ගනනාවක් තිස්සේ විදුසර විද්‍යා සඟරාවට ඉලෙක්ට්‍රොනික විද්‍යා ලිපි සම්පාදනය කරපු ප්‍රසාද් සිරිවර්ධන අයියා ගැන කිව්වොත් මම දන්න හැටියට ලංකාවේ පළමුව ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ගැන ස්වයං පර්යේෂණයක් කළෙත්(1999-2000 කාලයේ),port programming සංකල්පය ගැන කතිකාවක්(පරිගණක මගින් පාලනය වන තොරණ සංකල්පය,තමන්ගේම පර්යේෂණ),නවකයන්ට අත්වැලක්වූ "මාසික ඉලෙක්ට්‍රොනික පරිපථ සංග්‍රහය" වැනි වටිනා ලිපි පෙළ කෙරුවෙත් ප්‍රසාද් අයියා.විශ්ව විදයාල සිසුවෙකුව සිටිද්දීම පර්යේෂණ කරමින් තමන්ගේම ප්‍රායෝගික දැනුම අන් අයට බෙදාදුන් ප්‍රසාද් අයියා ඒ අතරින් ගොඩක් ආදර්ශමත්.අද ඔහු කොහේ සිටිනවාද කියා මා දන්නේ නැහැ.(කොහේ හරි ඉන්නවනම් මේ විද්‍යුත් තැපෑලට ලිපියක් එවන්න kaviranga5955@gmail.com ).ඔහු වගේ සහෝදරයින් අදත් නැතිවා නොවෙයි.තව සෙනිත් නිර්මාණ සඟරාවේ කර්තෘතුමාත් අමතක කළ නොහැකියි.ඔහු අද අප අතර නොමැතිවුවත් ඔහුත් කාලයක් විදුසර පත්තරයට ඉලෙක්ට්‍රොනික විද්‍යා ලිපි සම්පාදන කළා.තවමත් ඔහුගේ සේවය අප රටට සදා අමරණීයයි.ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස තවත් මාහට අමතක කළ නොහැකි චරිතයක්,ඔහු කළ පර්යේෂණ වලින් තමයි දැනටත් නැනෝ පරිපථ තාක්ෂණය ගැන මුළු ලෝකයම ප්‍රයෝජන ගන්නේ.අවාසනාවකට ඔහු 2007 අවුරුද්දේ අප සැමගෙන් සමු ගත්තා.

මට මුලින්ම පරිගණක,තොරතුරු තාක්ෂණය ගැන ආසාවක් ඇති වුනේ කාලයක් ජාතික රූපවාහිනියේ විකාශය කළ "අන්තර්ජාලය ඔබේ නිවසට" වැඩසටහන නිසා.පැයකට පමණ ආසන්න කාලයක් විකාශය කළ ඒ වැඩසටහන මගින් වැඩිපුර කතා කළේ අන්තර්ජාලය,එහි ඇති නව තාක්ෂණ,නව ප්‍රවනතා ආදී වූ කරුණුයි.ටී.එම්.ජී.චන්ද්‍රසේකරයන් විසින් මෙහෙයවූ එම වැඩසටහනට ලංකාවේ බොහෝ තොරතුරු තාක්ෂණය සම්බන්ධ විද්වතුන් ‍රැසක් සහභාගීවූවා.මහාචාර්ය අසෝක එස් කරුනානන්ද,එස්.ටී.නන්දසාර,මහාචාර්ය වී.කේ.සමරනායක ආදීවූ විද්වතුන් ‍රැසක් සහභාගීවුනා.මෙම වැඩසටහන මගින් තමයි මට වෙබ් අඩවි නාමාවලියක්(web directory) සෑදීමට මූලික අදහසක් ඇතිවුනේ.එසේ සෑදූ වෙබ් අඩවි නාමවලියය තවමත් මාගාව තියෙනවා.ටී.එම්.ජී.චන්ද්‍රසේකරයන් ගැන කිව්වෝතින් මාධ්‍යවේදියෙකු වශයෙන් ඔහු මේ ලංකාවේ තොරතුරු තාක්ෂණය ගැන කතිකාවක් කිරීමට බොහෝ සෙයින් දායකවූ අයෙක්."e @ ශනිදා" වැනි කාලීනව වැදගත් වැඩසටහන් තුලින් ඔහු යම් දෙයක් සමාජයට දෙන්න උත්සාහ කළා.

දැනට මොර‍ටුව විශ්ව විද්‍යාලයේ මහචාර්ය තනතුරක් හොබවන,කලින් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය පදවියක් දැරූ අසෝක එස් කරුණානන්ද මහතා , ඔහු 1998,1999,2000 වසර වලදී " විදුසර " විද්‍යා සඟරාවට පරිගණක විද්‍යාව ගැන ලියූ ලිපි පෙළ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික පෙරළියකට මුල පිරීමට හේතුවූවා කිව්වෝතින් නිවැරදියි.ඔහුගේ ලිපි පෙළ තුල පුළුල් පරාසයක තොරතුරු සාකච්ඡාවට බඳුන් වූවා.විශේෂයෙන් පරිගණක වෛරස,පරිගණක ජාලකරණය,ඊ වානිජ්‍යය,යුනික්ස්-ලිනක්ස් මෙහෙයුම් පද්ධතීන් හා ඒවායේ ගොනු ආකෘතිය ,පරිගණක දෘඩාංග ගැන පුළුල් ලෙස ඔහූ ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුවත් කළා.මටද මෙම කෂේත්‍ර ගැන අවබෝධයක් ලබා ගැනීමට උනන්දුවක් ඇතිවූයේ මෙම ලිපිපෙළෙන් ලැබූ පන්නරයෙන්.

අප අතරින් වියෝවූ මහාචාර්ය වී.කේ.සමරනායක මහතාද ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයයට පෑයූ මිණි පහනක්.පරිගණකය භාවිතයෙන් ඡන්ද ප්‍රතිපල නිවැරදිව ලබාදීමේ ක්‍රමය පළමුවරට අත්හදා බැලීමට ඔහු සමත්වුනා.එමගින් ඔහු රටට දායක කළ දෙයින් අද මුළු ශ්‍රී ලංකාවම ප්‍රයෝජන ගන්නවා.යුනිකේත සිංහල ජ්‍යාත්‍යන්තර ප්‍රමිතියකට ගෙන ඒමට ඔහු කළ මෙහෙය අතිවිශිෂ්ඨයි.නැතිනම් අද අපහට මෙසේ සිංහල භාෂාවෙන් එකම ප්‍රමිතියකින් තාක්ෂණික ලිපි ලිවීමට නොහැකිවෙන්න ඉඩ තිබුනා.ඔහුගේ සේවය රටටම අමරණීය වන්නේ ඔහුගේ මෙම පර්යේෂණාත්මක දායකවීම් නිසයි.

මට තවත් අමතක කල නොහැකි අයෙකු වන්නේ ඩිල්ශාන් ආර් ජයකොඩි සොයුරායි.තමන්ගේම පර්යේෂණාත්මක සොයා ගැනීම් ගැන බ්ලොගයක් කළ " http://jayakody2000lk.blogspot.com " අඩවියෙන් එම සොයාගැනීම් ප්‍රසිද්ධ කළ වයස අවුරුදු 21 වූ මෙම තරුණ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ශිෂ්‍යයාගේ බ්ලොගය අද වනවිට ඉවත් කොට තිබෙනවා.නමුත් ඔහු කළ ව්‍යාපෘතීන් තවම sourceforge.net අඩවියෙන් භාගත කල හැකියි.විශේෂයෙන් ඔහු delphi ක්‍රමලේඛන භාෂාව යොදාගෙන නිර්මාණය කළ atmel,pic වැනි ක්ෂුද්‍ර පාලක ක්‍රමලේඛගත කළ හැකි අංග සම්පුර්ණ මෘදුකාංගය , ශ්‍රී ලංකාවේ ප්‍රථම බාහිර ශබ්ද පත(sound card),වැනි නිර්මාණ ඔහු ශ්‍රී ලාංකිකයන්ට නොමසුරුව දායක කළා.

අද විදාරණයෙන් මම බලාපොරොත්තු වූයේ " වෙනසක ඇරඹුමට " පණ දීමටයි. ඉඳින් සොයුරු,සොයුරියනි මෙම ලිපිය ගැන ඔබගේ වටිනා ප්‍රතිචාර හෝ චෝදනා මට ලබාදෙන්න.එසේනම් අදට සමුගන්නවා.

ප;ලි:- නැවත වතාවක් ඩිල්ෂාන් ආර් ජයකොඩි සහෝදරයාගේ http://jayakody2000lk.blogspot.com  අඩවිය සක්‍රිය කර ඇති බව සතුටින් දැනුම් දෙමි..

Sunday, October 11, 2009

වෙනසක ඇරඹුම..?



මෙතෙක් කල් Computer World ලෙස පවත්වා ගෙන ආ මාගේ සිංහල බ්ලොගය මෙතැන් පටන් Computer & Electrical World ලෙස නම් කරනවා.මා මෙසේ බ්ලොගය නම් කිරීමට හේතු දෙකක් තිබෙනවා.එකක් මා විවෘතයේ පරිගණක ඉංජිනේරු සිසුවෙකු ලෙස අධ්‍යයන කටයුතු කළාට මා සතුව තරමක ඉලෙක්ට්‍රොනික,විදුලි ඉංජිනේරු විද්‍යා දැනුමක් තිබීම.දෙක මා හට මේ වසරේ තුන්වන මට්ටමේ (Level 3) යටතේ අධ්‍යනය කිරීමට තිබෙන විදුලි හා ඉලෙක්ට්‍රෝනික විෂයයන් වල තිබෙන විෂයය අන්තර්ගතයන් වල මූලික සංකල්ප හා ඒවායේදී ලබන අත්දැකීම් මාගේ බ්ලොගය නරඹන විවෘතයේ සොයුරු සොයුරියන්ටත්,අනෙකුත් විශ්ව විද්‍යාලවල සොයුරු සොයුරියන්ටත්,උසස් පෙළ ,සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නා නංගිලා මල්ලිලාට උපකාරයක් වේ කියා මා සිතන නිසා. එසේ නම් නව ලිපිපෙළකින් නැවත හමුවෙන තුරු මද විරාමයක් තබනවා..

Monday, September 28, 2009

රොබෝ ගේම්ස් 2009 තරගය ගැන

ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ ආයතන මගින් වාර්ෂිකව පවත්වන Robo Games 2009 තරගය මෙවරත් Techno 2009 තරගයට සමගාමීව සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලවේදී පැවැත්වෙනවා.මෙවර තරගය තරමක් සුවිශේෂීයි.මක්නිසාද යත් මෙවර ප්‍රධාන අංශ තුනකින් තරගය සමන්විතයි.එනම්,

  • කණිෂ්ඨ අංශය-(පාසල් සිසුන් සඳහා)
  • විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ අංශය- (විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් සඳහා.,මෙයට පෞද්ගලික උපාධි ආයතන වල සිසුන්ද අයත්වේ.)
  • ජේ්‍යෂ්ඨ අංශය-(විවෘත,එනම් කලින් මෙම තරගයට නිර්මණ ඉදිරිපත් කළ සහ දැනට ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීනයන්,උපාධි නිමකළ සිසුන් සඳහා)

මෙවැනි තරගයක් වාර්ෂිකව පැවැත්වීමද ලොකු දෙයක්,මොකද ශ්‍රී ලංකාවේ හතර දිග්භාගයේ සිටින දැනුමැති අයවලුන්ට තමන්ගේ දැනුම පරීක්ෂා කිරීමට මෙය හොඳ තොතැන්නක්.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙවර තරගයට ඉදිරිපත් වන හැමටම සතු‍ටුදායක ප්‍රතිපල අත්වේවා කියලයි.ඔබ සැමට සදා ජය..!

Sunday, September 27, 2009

ටෙක්නෝ 2009(Techno 2009) ඉංජිනේරු ප්‍රදර්ශනය

ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ට,ඉංජිනේරු සිසුන්ට,පාසල් වල නව නිර්මාණකරනයේ යෙදෙන්නන්ට,ඉංජිනේරු ආයතනවලට ඉතා වැදගත් වන ලාංකේය ඉංජිනේරුවන්ගේ මහා කල එළි මංගල්‍යය වන ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ ආයතනය IESL මගින් සංවිධානය කරන ටෙක්නෝ 2009/Techno 2009 ඉංජිනේරු ප්‍රදර්ශනය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් ඔක් ‍තෝබර් 9,10,11 තෙදින තුළ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලවෙහිදී පැවැත්වෙනවා.මෙවරද පසුගිය වසර තුළ මෙන් ශ්‍රී ලංකාවේ සියලුම ඉංජිනේරු පීඨ සහිත විශ්ව විද්‍යාල.තොරතුරු තාක්ෂණ පීඨ සහිත විශ්ව විද්‍යාල,HNDE,TTI(NDES),NDT වැනි රජය යටතේ පවතින වරලත් ඩිප්ලෝමැටික ඉංජිනේරුවන් බිහිකරන ආයතන,රාජ්‍ය හා පෞද්ගලික ඉංජිනේරු/තාක්ෂණික ආයතන ‍රැසක ප්‍රදර්ශන කුටි ‍රැසක් මෙවරද ශ්‍රී ලාංකිකයන් වන අපහට දැකගත හැකිවේවි.ගියවර ප්‍රදර්ශනයේදී විවෘත විශ්ව විද්‍යාලයීය ප්‍රදර්ශන කුටිය වෙනුවෙන් ප්‍රදර්ශකයෙකු ලෙස කටයුතුකල මා එහිදී ලබාගත් අත්දැකීම් අතිවිශාලයි.නවක සිසුවෙකු ලෙස විශ්ව විද්‍යාලයට පැමිණි මුල් අවදියේදීම මෙවැනි අත්දැකීමක් ලබා ගැනීමද ඉතා දුර්ලභ අවස්ථාවක් මෙන්ම භාග්‍යයක් (මට තමීර සොයුරාව ප්‍රථම වතාවට මුණ ගැසුනේද මෙම ප්‍රදර්ශනයේදී).එසේම ගියවර ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල සිසුන්ගේ වැදගත් එමෙන්ම සුවිශේෂී නිර්මාණයන් ‍රැසක් අපහට දැකගත හැකිවූවා.ඒ අතරින් මා හට මතක් වන නිර්මාණයන් කිහිපයක් නම් රුහුනු විශ්ව විද්‍යාලයේ අවසන් වසර සහෝදරයන් තිදෙනෙකුගේ හා සොයුරියකගේ නිර්මාණයක් වූ Smart Bee ‍රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණ ක්‍රමවේදය,කොළඹ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ නිර්මාණයක් වූ "Pokura Pc","වසන් පොකුර"නම් වූ උබුන්‍ටු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සංස්කරණය කිරීමෙන් නිපදවූ එකම පරිගණකය කිහිපදෙනෙකුට එකම අවස්ථාවේදී බහුතිර ,බහු යතුරුපුවරු භාවිතයෙන් පරිශීලනය කිරීමේ පහසුකම ලබා දෙන මෘදුකාංගය,එමෙන්ම ඔවුන්ගේ තවත් නිර්මාණයක් වූ ජංගම ATM මෘදුකාංගය දැක්විය හැකියි.අපහට ආඩම්බර විය හැකි කරුණ නම් මේ සියලු නිර්මාණ විශ්ව විද්‍යාල සිසුන් වන අපගේම සොයුරු සොයුරියන්ගේ නිර්මාණයන් වීමයි.මක්නිසාද යත් මේ ශ්‍රී ලංකාවේ අනාගතය වන නිසාවෙනි.මෙවරත් එවැනි නව නිර්මාණ බොහොමයක් තිබෙයි කියා හිතනවා.තවද ගියවර ප්‍රදර්ශනයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රදර්ශන කුටිය හිස්ව තිබීම කණගා‍ටුවට කරුණක්.මෙවර එසේ නොවේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා.අවුරුදු කිහිපයක් තුළදී ගොඩනැගුණු සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය,සිංහල යුනිකෝඩ් එකමුතුව හා එක්වසිටින විශ්වවිද්‍යාල ශිෂ්‍ය /විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව,කණිෂ්ඨ/ජේෂ්‍ය පාසල් ශිෂ්‍ය ප්‍රජාව ,පාසල් ආචාර්ය ප්‍රජාව,විදුහල්පතිවරු ,විවිධ ක්ෂේත්‍ර වල සිටින අපගේම මවු භාෂාව තුලින් එකිනෙකා හා සංනිවේදනය කරන,අපගේ මවු භාෂාවේ දියුණුවට උරදෙන අපගේ ආදරණීය ශ්‍රී ලාංකිකයන්ට මා මෙවර ටෙක්නෝ 2009 ඉංජිනේරු ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස ඇරයුම් කරනවා...


පලි:-මෙතෙක් කාලයක් පැරණි ශ්‍රී ලාංකික ඉංජිනේරු තාක්ෂණ ගැන නම් ටෙක්නෝ ප්‍රදර්ශන වලදී කතා වෙලා නම් නැහැ.ඒවාටත් මෙවර ප්‍රදර්ශනයේදී කවුරුන් හෝ ඉදිරිපත් කිරීමක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

Thursday, September 10, 2009

අන්තර්ජාල පහසුකම් නැති විටෙකදී...


© 2009 kaviranga5955@gmail.com විසිනි...

සාමාන්‍යයෙන් තාවකාලික නවාතැන් වල (bording) නැවතිලා විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන බොහෝ විශ්වවිද්‍යාල සිසුන් හැමෝටම (හරියට මං වගෙ අයට) පෞද්ගලිකව අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමේ හැකියාව නැහැ(මොකද හැමෝටම HSPA usb dongle ගන්න සල්ලි නැහැනේ).විශ්වවිද්‍යාලයේදී නොමිලේ ලැබෙන අන්තර්ජාල පහසුකම ලබා ගත්තට විශ්වවිද්‍යාලයෙන් පිටත්ව බෝඩිමට ගියාට පස්සෙ තමන්ගේ හිතවතුන්ගේ වෙබ් අඩවි (විශේෂයෙන්ම අනෙකුත් විශ්වවිද්‍යාලවල හිතමිතුරන්ගේ blogger අඩවි) නරඹන්නේ කොහොමද? මට තිබුනු ලොකු ප්‍රශ්නයක් තමයි මේක. පස්සේ අන්තර්ජාලය පීරුවාට පස්සේ විසඳුමක් සොයාගත්තා.මොකක්ද ඒ ? opera 9.64 usb portable edition එක.මෙය www.opera-usb.com වෙබ් අඩවියෙන් භාගත කරගත හැකියි.මෙය එම වෙබ් අඩවියෙන් up964int.zip ලෙස නම් වූ හැකිලුම් ගොනුවක් ලෙස ඔබට ලබාගත හැකියි.

ඉන්පසු එය winzip,winrar හෝ ishark වැනි ගොනු හැකිලුම්/දිගහැරුම් මෘදුකාංගයක් භාවිතයෙන් කැමති තැනකට දිගහැරගන්න.(pen drive එකක folder එකකට නම් වඩා සුදුසුයි.)

ඉන්පසුව pendrive එක අන්තර්ජාල පහසුකම් ඇති පරිගණකයට සවිකොට මෙම වැඩසටහන අඩංගු folder එක විවෘත කරන්න. පසුව එහි ඇති OperaUSB අයිකනය මත double click කර වැඩසටහන විවෘතකරගන්න. අත්‍යාවශ්‍යය වෙබ් ලිපිනය addres bar එකේ නිවේශනය කරන්න. මෙම පියවරෙන් පස්සේ තමයි වැදගත්ම කොටස , අත්‍යාවශ්‍යය වෙබ් අඩවියේ නම මෙම බ්‍රවුසරයේ නිවේශනය කොට file මෙනුවෙන් save as විකල්පය යටතේ save as type: Web Archive(single file) ලෙස ලබා දී save බොත්තම ඔබන්න(Mozilla Firefox වලට Google Chrome වලට මේ හැකියාව නැහැ...,නමුත් Internet Explorer වලට පෙරනිමියෙන්ම එහි ඇති save as විකල්පය යටතේ save as type: ලෙස Web Archive,single file(*.mht) ලෙස ගොනු සු‍රැකුම් කල හැකියි.).

මෙහිදී ඔබ හොඳින් බැලුවහොත් එම සු‍රැකිව ඇති ගොනු වර්ගය .mht extension එකෙන් සු‍රැකිව ඇති බව ඔබට පෙනේවි.මොකක්ද මේ .mht ගොනු වර්ගය? Microsoft සමාගමෙන්ම internet explorer බ්‍රවුසරයට නිපදවූ විශේෂ වෙබ් ගොනු හැකිලුම් ක්‍රමවේදයක්.මේ ගැන වැඩි විස්තර මෙම link එකෙන් බලාගන්න.

ප්‍රශ්නය එතනින් අහවර නැහැ. බෝඩිමට ආවාට පස්සේ තමයි මට තරු පෙනුනේ. බෝඩිමේ තියෙන මගේ laptop යන්තරේට pen එක ගහලා මේ .mht extention එක යටතේ ඇති ගොනු මත double click කළා විතරයි පෙන්නන්නේ වෙන විකාරයක්. හේතුව Microsoft ආයතනයේම නිෂ්පාදනයක් වන Internet Explorer 7.0 (එතකොට බෝඩිමේ තිබුනු laptop යන්තරයේ පෙරනිමියෙන්ම තිබුනේ Microsoft Internet Explorer 7.0 බ්‍රවුසර සංස්කරණය).එයින් හරියට වෙබ් පි‍ටුවේ සිංහල Unicode පෙන්නන්න බැහැ.මේ තිරසටහන බලන්න.
ඉතින් දැන් මොනාද කරන්නේ? දහ අතේ කල්පනා කරනකොට ආයෙමත් මට පිහිටට ආවේ opera වෙබ් බ්‍රවුසරය.මෙම බ්‍රවුසරයේ තියෙනවා පරිගණක වලට ස්ථාපනය කළහැකි opera 10.0 සාමාන්‍යය සංස්කරණය.මෙය පරිගණකයට ස්ථාපනය කර Start >> Set Program Acess and Defaults යටතේ custom විකල්පය ‍තෝරා එයින් Opera ‍Select(මෙයින් කරන්නේ සම්මත බ්‍රවුසරය ලෙස Opera 10.0 සැකසීමයි).පස්සෙ ආපහු .mht ගොනු විවෘත කරන කොට කරදරකාරී Internet Explorer වල බලපෑමෙන් තොරව කෙලින්ම opera වලින් විවෘතවෙලා පෙන්නනවා.


(මෙය 100% ක් මා විසින් අත්හදා බලන ප්‍රතිකර්මයක් බවත් , දෝෂ අවම බවත් කරුණාවෙන් සලකන්න.)


Friday, August 28, 2009

ඔටෝ අයිටී පළමු පාඩම

© 2009 kaviranga5955@gmail.com විසිනි...




ඔටෝ අයිටී යනු ඔබට හුරුපුරුදු කරදරකාරී වෛරසයක් වන fun.exe , google chrome වෙබ් බ්‍රව්සරයේ portable edition එක , hit man pro වෛරස් නාශකය.... ආදිවූ වැඩසටහන් නිපදවීමට භාවිත කරන ප්‍රබල scripting භාෂාවකි.ඉතා සිත්ගන්නා සුළු චිත්‍රක අතුරු මුහුණත් නිපදවීමට මෙය වර්තමානයේදී මෙම භාෂාව බහුලව භාවිතා කරයි.අමතර runtime libraries අවශ්‍යය නොවීම මෙහි ඇති ප්‍රධානතම වාසියයි.ඒ අනුව බලන කළ vb,C++,vb.net වලින් සාදන වැඩසටහන් වලට සාපේක්ෂව ඔටෝ අයිටී වලින් සාදන වැඩසටහන් වලට වැයවන්නේ අඩු ඉඩකි.මෙම භාෂාව http://www.autoitscript.com/autoit3 වෙබ් යන ලිපිනයෙන් භාගත කරගත හැක.තවද මෙයට අදාළ කේත සංස්කාරක වැඩසටහන http://www.autoitscript.com/autoit3/scite යන වෙබ් ලිපිනයෙන් ඔබට භාගත කරගත හැකිය. ප්‍රධාන වශයෙන් ඔබට ඔටෝ අයිටී වලින් ක්‍රමලේඛනය කිරීමට අවශ්‍යය වන්නේ මෙම වැඩසටහන් දෙකවේ.



Wednesday, August 26, 2009

mint 7 ඇවිත්


විවෘත කේත මෘදුකාංග භාවිතා කරන සැමට linux විවෘත කේත මෙහෙයුම් පද්ධතිය මතකද? ඔබ සැම ubuntu 9.04,fedora 11 ආදී විවෘත කේත මෘදුකාංග මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නේ ඒවායේ ජනප්‍රියත්වය නිසාය. නමුදු ඒ ලෙසම ජනප්‍රිය වී යන linux mint මෙහෙයුම් පද්ධතිය ඔබ භාවිත කර නොමැතිනම් නවතම අංග ‍රැසක් සමග පැමිණෙන " linux mint 7 gloria " අත්හදා බලන්න.මෙවර ප්‍රධාන වශයෙන් මෙහි නිර්මාපකයන් linux mint 7 DVD universal සංස්කරණය හා linux mint 7 CD සංස්කරණ බෙදා හරිනවා.තවද මෙවර linux mint 7 සඳහා පූර්ණ සහයෝගිතා pdf ගොනුවක්ද ලබාදෙනවා.

වැඩි විස්තර සදහා http://ftp.heanet.ie/pub/linuxmint.com/stable/7/user-guide/english.pdf

Saturday, August 15, 2009

net beans භාවිතා කරන සහෝදර සහෝදරියන් උදෙසා...

සාමාන්‍යයෙන් net beans භාවිතා කර java අතුරුමුහුණත් සාදන අය මුහුණ දෙන ගැටලුවක් තමයි net beans ස්ථාපනයකලපසු load වීමට හා clean & build command එක දුන්පසු කම්පයිල් වීමට ගන්නා කාලයවැඩි වීම. එයට පිළියමක් ලෙස පහත පියවර ඔබට අනුගමනය කල හැකියි.

පළමු පියවර
පළමුව windows Notepad එකෙන් පලමු රූපයෙ පරිදි file type යටතේ All Files විකල්පය තොරන්න.


දෙවන පියවර
තෙවන පියවර


සිව්වන පියවර



පස්වන පියවර


මෙය ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පළකරන්න.



Tuesday, August 11, 2009

auto it භාෂාව ගැන

auto it භාෂාව ගැන ලිපි පෙළක් ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඉඩක් ලැබුනු වහාම පළ කරන්නම්.

Friday, June 26, 2009

ආයුබෝවන්, මගෙ පලමු සින්හල බ්ලොග් ලිපිය.

මෙතක් කල මම සින්හල යුනිකොඩ් වලින් සින්හල බ්ලොග් ලිවිමේ අපහසුතාවයෙන් පෙලුනා. ඉතින් ආයුබෝවන් සින්හල බ්ලොග් රචකයනි.

Sunday, April 5, 2009

I have created a windows live id . It is kaviranga5955@live.com . When logged to windows live account it have a great facility named sky drive . We can create folders in it and we can give permissions to each folder and we can upload and store files up to 25GB . This facility from microsoft company . The home page is http://www.live.com .

Saturday, January 31, 2009

you can link with me through these email addresses and the blogger site...